මරපු තාජුඩීන්ගේ ඇඟේ කොටස් ලොරියක දාගෙන අරන් ගිහින්

1

තාජුඩීන්ගේ ශරීර කොටස් සොරකම් කර ලොරියක දමාගෙන ගිය සිද්ධියට අදාළව රහස් පොලිසිය විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් ලොරියකට එම ශරීර කොටස් පැටවූ රජයේ සේවකයන් කිහිප දෙනකුගෙන් දැනටමත් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.

රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ සිරුරේ කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බැවින් එය වළක්වමින් තමාට අපේක්ෂිත ඇපයක් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා ගොනු කළ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා එම කරුණු අනාවරණය කෙළේය.

පෙත්සම්කාර ආනන්ද සමරසේකර මහතා ගොනු කළ අපේක්ෂිත ඇප පෙත්සමට අදාළ තීන්දුව ලබන 9 වැනිදා ලබා දීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය තීරණය කළාය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවත් අධිකරණයට දන්වා සිටියේය.

තම සේවාදායකයාට එරෙහිව චෝදනා නොමැති නිසා ඔහුට අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස පෙත්සම්කරුගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා මෙසේ පැවැසීය.

මේ ඇප ඉල්ලීමට මූලික විරෝධතාවක් ඉදිරිපත් කරනවා. මෙය පොදු දේපළ පනතට වැටෙන සිද්ධියක් හෙයින් අදාළ ඇප ඉල්ලීම මෙම අධිකරණයේ සලකා බැලීම ගැන විරුද්ධ වෙනවා. රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රධානියා ලෙස පෙත්සම්කරු කටයුතු කළා. තාජුඩීන්ගේ ශරීර කොටස් නඩු භාණ්ඩ වශයෙන් පෙත්සම්කරු භාරයේ තිබුණා. එම ශරීර කොටස් ඔහු විසින් බැහැර කර තිබෙනවා. නඩු භාණ්ඩ වන ශරීර කොටස් මේ වන විට අස්ථාන ගත වෙලා. නඩු භාණ්ඩ කියන්නේ රජයේ දේපළක්. එය පෞද්ගලික දේපළක් නොවේ. පෙත්සම්කරු විසින් රජයේ දේපළ අස්ථානගත වීමක් කර තිබෙනවා. අධිකරණවල පැසසුමට ලක්වූ පෙත්සම්කරු මෙවැනි දෙයක් කළේ ඇයි?

මොහු විශ්‍රාම යෑමට සති දෙකකට තුනකට පෙර මෙය කර තිබෙනවා. තාජුඩීන්ගේ ශරීර කොටස් සමඟ තවත් මෘත ශරීර කොටස් ගොඩක් තිබුණා. ඒවා සියල්ල පෙත්සම්කරු විසින් බැහැර කර තිබෙනවා. ඒවා ගැන කිසිම සටහනක් නැහැ.

තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදීමට පෙත්සම්කරු වසර 3කට අධික කාලයක් ගත කළා. එය ඉතාම සැක සහිතයි. පෙත්සම්කරු විසින් පොදු දේපළක් සොරකම් කර තිබෙනවා. එය ඉතාම නීති විරෝධී ක්‍රියාවක්. පෙත්සම්කරු තාජුඩීන්ගේ මෘත ශරීර කොටස් සහ තවත් ශරීර කොටස් රැසක් ලොරියක දාලා අරගෙන ගිහිල්ල තිබෙනවා. මේ සිද්ධියට තවත් රජයේ සේවකයන් පිරිසක් සම්බන්ධ වී තිබෙනවා. මෙය සැලැසුම් සහගතව කුමන්ත්‍රණකාරීව සිදු කළාද යන්න සෙවීමට රහස් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය

මෙහි වටිනාකම කීයද?

රජයේ නීතිඥ

ශරීර කොටස්වල වටිනාකමක් මැනිය නොහැකියි. නමුත් එය රුපියල් 25,000ට වඩා වටිනා බව කිව හැකියි.

පෙත්සම්කරුගේ නීතිඥ

පොදු දේපළ පිළිබඳව, සොරකම් කිරීමක් ගැන පරීක්ෂණ කරන බව රහස් පොලිසිය කියනවා. පෙත්සම්කරු විශ්‍රාම යෑමෙන් අනතුරුව ශීතකරණය අක්‍රිය වෙලා. ඊට පසුව එහි තිබූ ශරිර කොටස් අස්ථානගත වෙලා තිබෙනවා. ඒකට අපි මොනවා කරන්නද? එම ශරීර කොටස් නැති වීම ගැන වගකිව යුත්තේ වර්තමානයේ සිටින ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා. එම ශරීර කොටස් ලොරියක දමාගෙන ගියාලු. එහෙම සාක්ෂියක් තිබෙනවාද? ඒ පිළිබඳ අධිකරණයට රහස් පොලිසිය ‘බී’ වාර්තාවක් මඟින් දැනුවත් කරලා නැහැ.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය

ශරීර කොටස් ලොරියක දමාගෙන ගිය බව කියන්නේ කෙසේද?

රජයේ නිතීඥ

ලොරියකට ශරීර කොටස් දාපු අය ඉන්නවා. එම පුද්ගලයන්ගෙන් රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කර තිබෙනවා. තවදුරටත් ඒ පිළිබඳව පුළුල් ලෙස පරීක්ෂණ සිදු කරනවා.
පෙත්සම්කරු අධිකරණ වෛද්‍ය වාර්තා 12,000ක් දීපු අයෙක්. ඇයි මෙහෙම කෙළේ.
මේ සිද්ධියට අදාළව දෙපාර්ශ්වයටම ලිඛිත දේශන ගොනු කරන ලෙස නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පෙත්සමට අදාළ තීන්දුව ලබාදීම ලබන 9 වැනි සිකුරාදා දිනට කල් තැබුවාය.

ඉෂාර රත්නකාර
මව්බිම

Related posts

Leave a Comment